
ඇතැමුන්ට සිදුවන අනතුරු පිළිබඳව කල් ඇතිව ප්‍රකාශ නිකුත් වීම මනෝවිද්‍යා පර්යේෂණවලදී අනාවරණය වේ. (Telepathic Impreions) මනෝ සංඥා යනුවෙන් හෙළිවන ඇතැම් සිදුවීම් පුදුම උපදවන සුලුය. දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ සිදුවන එවැනි ප්‍රකාශ සනාථ කෙරෙන සිදුවීම් පර්යේෂණ ග්‍රන්ථවලට ද ඇතුළත් වී තිබේ. ඇමෙරිකාවේ වර්ජිනියා විශ්ව විද්‍යාලය මගින් පළ කළ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසින් ලියන ලද (Telepathic Impreions) නම් ග්‍රන්ථයේ ද රටවල් රැසකින් එවැනි සිදුවීම් පිළිබඳ සිදු කළ පර්යේෂණ ඇතුළත් කර ඇත.
හිටපු අගමැතිවරයකු වූ ඇස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සාහසිකයකුගේ වෙඩි පහරට ලක්වූයේ විදේශ සමුළුවක් වූ එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයට සහභාගි වීම සඳහා ඇමෙරිකාවට යෑමට දෙදිනකට උඩදීය. වෙඩි වැදීම නිසා බරපතළ තුවාල ලැබූ බණ්ඩාරනායක මහතා ඇතුළත් කරනු ලැබුවේ කොළඹ මහ රෝහලටය. එවකට හිටපු ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයකු වූ පී.ආර්. අන්තෝනිස් මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් බණ්ඩාරනායක මහතා ශල්‍යකර්මයකට භාජනය කළේය. උදේ එකොළහට පමණ ශල්‍යාගාරයට ගත් බණ්ඩාරනායක මහතා ඉන් පිටතට ගෙන එන ලද්දේ සවස හතරයි තිස් පහට පමණය. වෛද්‍යවරුන් මුළු රැයක් නිදි වරමින් එතුමාගේ ජීවිතය රැක ගැනීමට උත්සාහ ගන්නමුත් පසුදා උදේ 7.45 ට එතුමා අවසන් හුස්ම හෙළීය.
බණ්ඩාරනායක මහතා සාහසික වෙඩි පහරට ගොදුරු වීමට පෙර අවසන් වරට අත්සන් තබන ලද්දේ එතුමා විදේශගත වන විට වැඩබලන රාජ්‍ය නායකයා පත් කිරීමේ ලිපියකටය. එම ලිපියට අත්සන් තබන අවස්ථාවේ එතුමාගේ මුවින් පිට වූ වදනක් අතිශය පුදුම සිදුවීමක් බවට පත්විය. එම වදනට හේතු වී ඇත්තේ එවකට පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි වැඩබලන රාජ්‍ය නායකයකු පත් කිරීමට හේතු වන කරුණු ඉදිරි පත් කළ විටදීය. ඇමෙරිකාවේ පැවැත්වෙන විදේශ සමුළුවට සහභාගිවීමට බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට නියමිතව තිබුණේ 1959 සැප්තැම්බර් 28 වැනිදාය. 24 වැනිදා වනවිටත් වැඩ බලන රාජ්‍ය නායකයෙකු පත් කිරීමේ ලිපියකට අත්සන් තබා නොතිබිණි. එවකට අග්‍රාමාත්‍ය ලේකම්වරයා වූයේ බ්‍රැඩ්මන් වීරකෝන් මහතාය.
මේ නිසා වැඩ බලන රාජ්‍ය නායකයා ලෙස පත්කරන්නේ කවුරුන් ද යැයි බ්‍රැඩ්මන් වීරකෝන් මහතා බණ්ඩාරනායක මහතාගෙන් විමසීමක් කළේය. බණ්ඩාරනායක මහතා කියා සිටියේ ඩබ්ලිව්. දහනායක මහතා පත් කරන ලෙසය. ඒ අනුව 1959 සැප්තැම්බර් 24 වැනිදා සවස වැඩ බලන රාජ්‍ය නායකයා ලෙස දහනායක මහතා පත්කරන ලිපිය සකස් කළ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා එම ලිපිය ද සමග බණ්ඩාරනායක මහතා හමු විය. ඒ අවස්ථාවේ බණ්ඩාරනායක මහතා සිටියේ පාර්ලිමේන්තු මන්දිරයේ කාර්යාලයේය. ව්‍යවස්ථාවේ 46 වැනි ඡේදයේ යටතේ දහනායක මහතා පත් කිරීමේ ලිපිය සකස් කළ බැමන් වීරකෝන් මහතා එයට ව්‍යවස්ථාවේ සඳහන් වන වැකිය ද ඇතුළත් කර තිබිණි.
වැඩ බලන රාජ්‍ය නායකයකු පත් කිරීමට හේතුව සඳහන් වූයේ රටින් පිටවීම හෝ දුබලභාවයට (Incapacittation) පත්වීම යන ඉංග්‍රීසි වදන සහිතවය. ව්‍යවස්ථාවේ සඳහන් පරිදි සකස් කළ එම ලිපිය බැමන් වීරකෝන් මහතා විසින් බණ්ඩාරනායක මහතාගේ අත්සන් ලබාගැනීමට ඉදිරිපත් කළේය. ලිපිය අතට ගත් බණ්ඩාරනායක මහතා එහි සඳහන් වූ අනෙක් කරුණු කිසිවකටත් වඩා අවධානයට යොමු කළේ දුබලවීම අර්ථවත් කළ ‘ඉන්කැපැසිටේෂන්' යන වචනය වෙතය. ඉන්කැපැසිටේෂන් යැයි හඬ නගා කිය වූ බණ්ඩාරනායක මහතා දෙනෙත් හරවා බ්‍රැඩ්මන් වීරකෝන් මහතා දෙස බැලුවේ ය. නැවතත් ලිපියේ සඳහන් වැකිය බලා "ඉන්කැපැසිටේෂන්"ඉන්කැපැසිටේෂන්", "ටෙම්පරරි ඉන්කැපැසිටේෂන්” යයි නැවත නැවත ප්‍රකාශ කර ලිපියට අත්සන් තැබීය.
ලිපිය රැගත් බ්‍රැඩ්මන් වීරකෝන් මහතා නොපමාව එය රැගෙන ගොස් අග්‍රාණ්ඩුකාරවරයා වූ සර් ඔලිවර් ගුණතිලක මහතාට බාර දුන්නේ ය. පසුදා උදෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලයට ගිය බැඩ්මන් වීරකෝන් මහතා බණ්ඩාරනායක මහතාගේ රහස්‍ය ලිපි කටයුතු කරනු ලබන ලීනස් ජයවර්ධන ද සමග බණ්ඩාරනායක මහතාගේ ඇමෙරිකානු සංචාරයේ වැඩසටහන සකසමින් සිටියේ ය. හදිසියේම රොස්මිඩ් පෙදෙසේ බණ්ඩාරනායක මහතාගේ නිවසේ කාර්යාලයේ පෞද්ගලික ලේකම්වරයා වූ අමරසිංහ මහතාගෙන් පණිවුඩයක් ලැබිණි. "ලොක්කට වෙඩි තියලා ” එම පණිවුඩය විය. බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අත තිබූ ලිපි පසෙකට දැමූ බුමන් වීරකෝන් මහතා කෙළින්ම තම පෞද්ගලික මෝටර් රථය වෙත ගියේ ය. ගරාජයේ තිබූ රථය පණ ගන්වා ගත් ඔහු කෙළින්ම රොස්මිඩ් පෙදෙසේ බණ්ඩාරනායක මහතාගේ නිවසට ගියේය. ඒ වන විටත් වෙඩි වැදී කෙඳිරිගාමින් සිටි භික්ෂුවක් අසල පොලිස් නිලධාරියෙක් සිටි අතර බණ්ඩාරනායක මහතා රෝහල් ගත කර තිබිණි.
රෝහලට ගිය බ්‍රැඩ්මන් වීරකෝන් මහතාට බණ්ඩාරනායක මහතා සමග කතා කිරීමට හෝ නොලැබිණි. බණ්ඩාරනායක මහතා පෙර දින අවසන් වරට අත්සන් තැබූ ලිපියේ සඳහන් වූ පරිදි දහනායක මහතා වැඩබලන රාජ්‍ය නායකයා ලෙස අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක මහතා විසින් පත් කැරිණි. ඒ වන විට බණ්ඩාරනායක මහතාට සහාසික වෙඩි පහර එල්ල වීම නිසා ඒ මහතා ඉන්කැපැසිටේඩඩ් යනුවෙන් ද දැක්වෙන ආකාරයේ දුබලතාවයකට පත්ව සිටියේය. බණ්ඩාරනායක මහතා දහනායක මහතා පත් කිරිමේ ලිපියට අත්සන් තබද්දී ප්‍රකාශ කළ එම වදන පිළිබඳව විමර්ශනයක් කිරීමට පසුගිය දිනක අපට අවස්ථාව ලැබිණි. එහිදී බ්‍රෑඩ්මන් වීරකෝන් මහතාගෙන් කරන ලද විමසීමත් ඒ මහතා දුන් පිළිතුරුත් මෙසේ ය.
ප්‍රශ්නය - බණ්ඩානායක මහතා විදේශගත වීමට නියමිතව තිබුණේ කවදා ද?
පිළිතුර - 28 වැනිදා
ප්‍රශ්නය - වැඩබලන රාජ්‍ය නායකයා පත් කිරිමේ ලිපිය ඔබ අත්සනට ගෙන ගියේ කවදාද?
පිළිතුර - 24 වැනිදා
ප්‍රශ්නය - එහිදී සිදු වූ කතාබහ මොනවාද?
පිළිතුර - වැඩබලන රාජ්‍ය නායකයා ලෙස පත් කරන්නේ කවුදැයි මා බණ්ඩාරනායක මහතාගෙන් විමසුවා. ඩබ්ලිව් දහනායක යැයි එතුමා පිළිතුරු දුන්නා. එවිට
මා ඒ පිළිබඳව තවදුරටත් කරුණු ඇසුවා.
ප්‍රශ්නය - ඒ කරුණු මොනවාද?
පිළිතුර - දහනායක මහතා ඒ වන විට වෙනත් පක්ෂයක නායකයෙක්. ඒ නිසා මා ඒ ගැන පැහැදිලි කිරීමක් කළා.
ප්‍රශ්නය - එවිට බණ්ඩාරනායක මහතා පැවසුවේ කුමක් ද?
පිළිතුර - මා එය විමසීම ගැන ඔහු කැමැත්තක් දැක්වූයේ නැහැ. එය මට අයිති නැති දෙයක් ලෙස තරමක් වේගයෙන් ඩබ්ලිව්. දහනායක යැයි නැවතත් ප්‍රකාශ කළා.
ප්‍රශ්නය - එවිට ඔබ කළේ කුමක් ද?
පිළිතුර - මා ඒ සඳහා සුදුසු ලිපිය සකස් කිරිමට කටයුතු කළා.සාමාන්‍යයෙන් වැඩබලන රාජ්‍ය නායකයකු පත් කළ යුතු වන්නේ රාජ්‍ය නායකයා රටින් පිටව යන අවස්ථාවේ හෝ දුබල තත්වයට පත් වූ විටදී යැයි ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අනුමත කොටස්ද සහිතව මා එම ලිපිය සකස් කළා.
ප්‍රශ්නය - එහි සඳහන් වූයේ මොනවා ද?
පිළිතුර - හතළිස් හයවැනි ඡේදයේ සඳහන් වන පරිදි වැඩබලන රාජ්‍ය නායකයා පත් කිරිමට නියමිත වන කරුණු අනුව අදාළ ඉංග්‍රිසි පාඨය (Out of country Incapacitation) වූ රටින් පිටවීම හෝ දුබලත්වයට පත්වීම යන වදන් එම ලිපියට ඇතුළත් කළා.
ප්‍රශ්නය - ඊට පසුව සිදුවූයේ කුමක් ද?
පිළිතුර - ඒ ලිපියට අත්සන් ලබාගැනීමට මා නැවත බණ්ඩාරනායක මහතා වෙත ගියා. ලිපිය කියවා බැලූ බණ්ඩාරනායක මහතා එහි සඳහන්ව තිබූ අනෙක් කරුණුවට වඩා Incapacitation යන වදන කෙරෙහි අවධානය යොමු කළා. එය කීප විටක්ම ශබ්ද නගා
කියවා මගේ මුහුණ බලා එයට අත්සන් තැබුවා.
ප්‍රශ්නය - ඒ වදන පිළිබඳව ඔබට කිසියම් වෙනසක් ඇතිවුණා
පිළිතුර - ඊට ප්‍රථම ඒ පිළිබඳව අවධානයක් යොමු කළේ නැහැ. නමුත් එදා එම වදන ගැන දැඩි අවධානයක් යොමු කළ බැව් මට පෙනුණා.
ප්‍රශ්නය - ඊට පසුව සිදුවූයේ කුමක් ද?
පිළිතුර - විසිපස් වැනිදා උදේ එතුමාට සාහසිකයකු වෙඩි තබා තිබුණා. වෙඩි වැදීමෙන් එතුමා දුබල බවට පත්වුණා පෙරදා අත්සන් තබා තිබූ ලිපිය අනුව වෙඩි වැදී දුබල වීම නිසා වැඩබලන රාජ්‍ය නායකයා ලෙස දහනායක මහතා පත් කිරීමට අග්‍රාණ්ඩුකාරවරයාට සිදුවුණා.
ප්‍රශ්නය- බණ්ඩාරනායක මහතාගේ මුවින් එදා පිට වූ එම වදන ගැන ඔබ සිතන්නේ කුමක් ද?
පිළිතුර - මට එය අදටත් පුදුමයට හේතුවක්. පෙරදා අත්සන් කළ ලිපියේ සඳහන් වැකිය කිය වූ පරිද්දෙන්ම එතුමා දුබලත්වයට පත්වී අභාවයට පත්වුණා. එය පුදුම සිදුවීමක් ලෙස මගේ මතකයේ තියෙනවා යැයි බ්‍රැඩ්මන් වීරකෝන් මහතා පැවසීය.
Comments
Post a Comment